SpaceX සමාගම පොදු කොටස් වෙළෙඳපොළට නිකුත් කිරීමේ (IPO) දැවැන්ත ක්‍රියාවලියේදී, ජනප්‍රිය වෙළෙඳ යෙදුම් (Trading apps) වන ව්ලැඩ් ටෙනෙව්ගේ ‘Robinhood’ සහ ටෝනි නෝටෝගේ ‘SoFi’ පද්ධති ඉවත් කර ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව ඉලොන් මස්ක් (Elon Musk) අද (01) තහවුරු කළේය.
මෝර්ගන් ස්ටැන්ලි (Morgan Stanley) ආයතනය යටතේ පවතින ‘E*Trade’ හරහා පමණක් සිල්ලර කොටස් අලෙවිය සිදු කරන බවට පළ වූ වාර්තා හමුවේ ආයෝජකයන් තුළ ඇති වූ සැකය දුරු කරමින් මස්ක් පවසා සිටියේ තමන් මේ වන විටත් ව්ලැඩ් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි. සාමාන්‍යයෙන් IPO එකකදී සිල්ලර ආයෝජකයන්ට වෙන් කරන්නේ 5% සිට 10% දක්වා ප්‍රමාණයක් වුවද, SpaceX හි එය 30%ක් වැනි ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
‘Project Apex’ යන අභ්‍යන්තර නාමයෙන් හඳුන්වන මෙම ව්‍යාපෘතිය එළඹෙන ජූනි මාසයේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර, එහි වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.75ක් පමණ වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. මෙම දැවැන්ත ගනුදෙනුව මෙහෙයවීම සඳහා Morgan Stanley, Goldman Sachs ඇතුළු ප්‍රමුඛ පෙළේ බැංකු 21ක කණ්ඩායමක් එක්ව සිටින අතර, එය මෑත ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළට පිවිසෙන විශාලතම සහ වැදගත්ම අවස්ථාව ලෙස සැලකේ.














