ඊශ්‍රායලය විසින් පසුගියදා (08) ලෙබනනයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මගින් ජාත්‍යන්තර නීතිය මෙන්ම අලුතින් ඇති කරගත් සති දෙකක සටන් විරාම ගිවිසුම ද උල්ලංඝනය කර ඇති බවට ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය ජෝසේ මැනුවෙල් ඇල්බරස් (Jose Manuel Albares) මහතා චෝදනා කළේය. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඇමරිකාව සහ ඊශ්‍රායලය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත ස්පාඤ්ඤය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති අතර, මෙම ගැටුම් සඳහා සම්බන්ධ වන ඕනෑම ගුවන් යානයකට ස්පාඤ්ඤ ගුවන් සීමාව භාවිත කිරීම ද තහනම් කර තිබේ.
කලාපීය සාමය උදෙසා ගනු ලබන පියවරක් ලෙස ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ස්පාඤ්ඤ තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට ද අමාත්‍යවරයා අද (09) තීරණය කළේය. සාමය ඇති කිරීමේ උත්සාහයන් සඳහා ඉරාන අගනුවර සිට ද සෘජු දායකත්වයක් ලබා දීමේ අරමුණින් තම තානාපතිවරයාට වහාම සේවයට වාර්තා කරන ලෙස උපදෙස් දුන් බව හෙතෙම වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.













