ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද මෙහෙයුම් සඳහා සම්බන්ධ වන කිසිදු ඇමරිකානු ගුවන් යානයකට ස්පාඤ්ඤ ගුවන් සීමාව භාවිත කිරීමට ඉඩ නොදෙන බව ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබ්ලස් ප්‍රකාශ කර තිබේ. ස්පාඤ්ඤයේ පිහිටි මොන්රෝ සහ රොටා යන ඒකාබද්ධ යුද කඳවුරු ද මෙම යුද කටයුතු සඳහා භාවිත කිරීමට අවසර නොදෙන බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් මෙම යුද ක්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කර ඇති අතර, එය “නීතිවිරෝධී” සහ “අදූරදර්ශී” ක්‍රියාවක් ලෙස හඳුන්වා දී ඇත. තමන් ස්වෛරී රටක් ලෙස මෙවැනි යුද්ධවලට දායක නොවන බවත්, ඉන්ධන පිරවුම් ගුවන් යානා ඇතුළු යුද්ධයට සම්බන්ධ සියලුම ගුවන් ගමන් සැලසුම් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිට ඉරානය බලා පියාසර කරන ඇමරිකානු බෝම්බ හෙලන යානාවලට ස්පාඤ්ඤ ගුවන් සීමාව මඟහරිමින් පියාසර කිරීමට සිදුවනු ඇත.
මෙම තීරණයත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්පාඤ්ඤයට එරෙහිව පූර්ණ වෙළඳ සම්බාධක පනවන බවට තර්ජනය කර ඇතත්, ස්පාඤ්ඤය සිය ස්ථාවරය වෙනස් කර නැත. මේ අතර, ජාත්‍යන්තර නීතියට ගරු කරමින් ස්පාඤ්ඤය ගත් මෙම තීරණය අගය කරන බවත්, ඒ වෙනුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ස්පාඤ්ඤ නෞකාවලට සහනයක් ලබා දීමට සූදානම් බවත් ඉරාන තානාපති කාර්යාලය පවසා තිබේ.














