මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වී තිබෙන ගෝලීය ආර්ථික පීඩනයෙන් සිය රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ස්පාඤ්ඤ රජය ඉන්ධන නිෂ්පාදන මත පනවා ඇති එකතු කළ අගය මත බදු (VAT) 21% සිට 10% දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. ස්පාඤ්ඤයේ SER ගුවන් විදුලි සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ හයිඩ්‍රොකාබන් මත පනවා ඇති නිෂ්පාදන බද්ද ද අත්හිටුවීමට එරට රජය සැලසුම් කර ඇති බවයි.
මෙම බදු සහන ක්‍රියාත්මක වීමත් සමඟ ස්පාඤ්ඤය තුළ ඩීසල් සහ පෙට්‍රල් ලීටරයක මිල යුරෝ 0.30 සිට 0.40 දක්වා (ශ්‍රී ලංකා රුපියල්වලින් දළ වශයෙන් රු. 105 – රු. 140 පමණ) අගයකින් වහාම පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව විදුලි පරිභෝජනය මත පනවා ඇති 5%ක බද්ද ද ඉවත් කිරීමට ස්පාඤ්ඤ රජය පියවර ගෙන තිබේ. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඉහළ මට්ටමක පවතින බැවින් තෙල් මිල ඉහළ යාම හමුවේ අනෙකුත් රටවලට සාපේක්ෂව ස්පාඤ්ඤ ආර්ථිකයට එල්ල වන බලපෑම අවම වනු ඇතැයි එරට අමාත්‍යවරු විශ්වාසය පළ කරති.














