දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික උණුසුම තවදුරටත් ඉහළ යමින්, ඊශ්‍රායලයේ සේවය කරන සිය තානාපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ. ස්පාඤ්ඤ රජයේ නිල ගැසට් පත්‍රය මගින් අද (11) මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව මින් ඉදිරියට ඊශ්‍රායලයේ ස්පාඤ්ඤ දූත මණ්ඩලයේ ප්‍රධානත්වය දරනු ලබන්නේ පූර්ණ තානාපතිවරයෙකු වෙනුවට “භාරකාර නිලධාරියෙකු” (chargé d’affaires) විසිනි.
ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග මෙන්ම, ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය සම්බන්ධ වී පවතින වත්මන් යුදමය වාතාවරණය ද ස්පාඤ්ඤයේ දැඩි විවේචනයට ලක් විය. විශේෂයෙන්ම ස්පාඤ්ඤය විසින් පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගැනීම සහ ගාසා ගැටුම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය වඩාත් දැඩි ලෙස මැදිහත් විය යුතු බවට කළ ඉල්ලීම් හේතුවෙන් මැඩ්රිඩ් සහ ටෙල් අවිව් පාලනයන් අතර සබඳතා පසුගිය මාස කිහිපය තුළ දරුණු ලෙස පිරිහී ගියේය.
යුරෝපා සංගමයේ රටවල් අතරින් ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් වැඩිම විවේචනයක් එල්ල කරන රටක් ලෙස ස්පාඤ්ඤය ප්‍රසිද්ධය. මැදපෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය සහ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පළ කිරීමේ පියවරක් ලෙස මෙම තානාපතිවරයා ඉවත් කර ගැනීම විදේශ විචාරකයන් විසින් පෙන්වා දෙනු ලබයි.














