වර්තමාන ඉන්ධන කෝටා ක්‍රමය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් උද්ගතව ඇති ගැටලුව විසඳීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ අවධානය යොමු වී තිබේ. අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය දැනුවත් කර ඇති බවත්, ඇයගේ පිළිතුර ලැබුණු පසු ඒ පිළිබඳව සභාවට දැනුම් දෙන බවත්ය.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සභාවේදී පෙන්වා දුන්නේ සතියකට හිමිවන ඉන්ධන ලීටර් 15ක ප්‍රමාණය යාපනයේ සිට කොළඹට පැමිණීමට පවා ප්‍රමාණවත් නොවන බවයි. මෙම සීමාවන් යටතේ යාපනය හෝ අනුරාධපුරය වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පාර්ලිමේන්තු පැමිණීමට ගියහොත්, සතිපතා ඉන්ධන එකතු කරමින් සම්පූර්ණ ගමන නිම කිරීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දෙති.
මේ අතර විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කළේ ඉන්ධන ලබාගැනීමේදී මන්ත්‍රීවරුන්ට කිසිදු විශේෂ වරප්‍රසාදයක් හිමි නොවන අතර ඔවුන් ද සාමාන්‍ය ජනතාව මෙන් පෝලිම්වල රැඳී සිට ඉන්ධන ලබාගන්නා බවයි. ආරක්ෂක අංශ හෝ වෙනත් බාහිර මාර්ග හරහා තමන්ට ඉන්ධන නොලැබෙන බව පැවසූ මන්ත්‍රීවරයා, ජනතාව සහ මන්ත්‍රීවරුන් අතර වෛරයක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බවට ද චෝදනා කළේය.














