බුද්ධිමය සංවාදයක් සඳහා අවශ්‍ය ඉතාමත් යහපත් මහජන නියෝජනයක් වත්මන් පාර්ලිමේන්තුවේ දක්නට ලැබෙන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි. මහනුවර ධර්මරාජ විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (17) සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වත්මන් පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් 18-19ක් පමණ සිටින අතර ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය ද දැකිය හැකි බවත්, එය ඉතා හොඳ ප්‍රවණතාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය
පාර්ලිමේන්තුව යනු ජනතාවගේ ස්වරූපය පෙන්නුම් කරන කැඩපතක් වන බැවින් එහි නියෝජිතයින් බුද්ධිමත් පිරිසකගෙන් සමන්විත වීම රටේ ජනතාවගේ දියුණුව පිළිබිඹු කරන්නක් බව හෙතෙම අවධාරණය කළේය
මනසට මෙන්ම හදවතට ද අධ්‍යාපනය ලබා දීම වැදගත් බව ඇරිස්ටෝටල්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පැවසූ ඔහු, සහකම්පනය සහ මිනිස්කම් පිරි පුද්ගලයෙකු බිහි කළ හැක්කේ හදවත පෝෂණය කරන අධ්‍යාපනයෙන් බව ප්‍රකාශ කළේය
පවතින අධ්‍යාපන තරඟකාරීත්වය තුළින් උගතෙකු බිහි වුවද බුද්ධිමතෙකු බිහි නොවන බවත්, රජය ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ මනස මෙන්ම හදවත ද පෝෂණය වූ දරුවන් බිහි කිරීම බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියට අදාළ වෙනස්කම් 2027 දී ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, පළමු ශ්‍රේණියේ ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරන බවත් අග්‍රාමාත්‍යවරිය ද අද පැවති කමිටු රැස්වීමේදී අවධාරණය කළාය.














