සෑම දරුවෙකුම රටට වටිනා සම්පතක් බවත්, කිසිදු දරුවෙකු අතනොහැර ඔවුන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කිරීමට ගුරුවරුන් කැපවිය යුතු බවත් කථානායකවරයා අවධාරණය කරයි. ගුරුවරයා යනු හුදු විෂය කරුණු උගන්වන්නෙකු පමණක් නොව, දරුවෙකුගේ ජීවිතය හැඩගස්වන මාර්ගෝපදේශකයා බව පෙන්වා දෙන ඔහු, අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුවරයාට හිමි වටිනාකම සහ ගෞරවය රැකගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සිහිපත් කළේය.
විශේෂයෙන්ම විවිධ දක්ෂතා සහ දුර්වලතා සහිත දරුවන් පන්ති කාමරය තුළ සිටින බැවින්, දක්ෂ දරුවන්ට පමණක් සීමා නොවී ඉගෙනීමට අපහසුතා දක්වන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ගුරු වෘත්තියේ සැබෑ වගකීම බව කථානායකවරයා පවසයි. දරුවන් අධෛර්යයට පත් නොකර, ඔවුන්ගේ සහජ දක්ෂතා හඳුනාගෙන සමාජයට වැඩදායී පුරවැසියන් ලෙස නිර්මාණය කිරීම සඳහා ගුරුවරුන් පියවර ගත යුතු බවත්, එවැනි ගුරුවරුන් සිටින රටක අනාගතය සැමවිටම සුරක්ෂිත වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














