නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට බාල ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් මතුව ඇති දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එමගින් සිදුවූ පාඩුව ගණනය කිරීම සහ සැපයුම් ක්‍රමවේදයේ ගැටලු අධ්‍යයනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.
මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් හයදෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිත්වය මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස්. රොද්‍රිගෝ මහතා විසින් දරනු ලබයි. බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.එල්.ආර්.සී. විජයසිංහ මහතා මෙම කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.
බාල ගල්අඟුරු භාවිතය නිසා බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට සිදුවූ හානිය සහ මූල්‍යමය පාඩුව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන වගකීම වේ.














