පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි අංක C76 දරන හිටපු අමාත්‍ය නිල නිවස විශේෂ මහාධිකරණයක් ලෙස ස්ථාපිත කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (13) එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමට උපදෙස් ලබා දී ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත තාවකාලික පදනමින් ලබා දී ඇති ඇමැති බංගලා හතරක මෙලෙස විශේෂ අධිකරණ පිහිටුවීමට නියමිතය. ඒ අනුව බෞද්ධාලෝක මාවතට අමතරව ග්‍රෙගරි පාර (B/88), විජේරාම පාර (B 108) සහ ස්ටැන්මෝ චන්ද්‍රවංකය (B12) යන ලිපිනයන්හි පිහිටි නිල නිවාස ද අධිකරණ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතව තිබේ. මෙම පියවර මගින් පවතින අධිකරණ ශාලා හිඟයට විසඳුම් ලැබෙන අතර පාස්කු ප්‍රහාරය වැනි ජාතික වශයෙන් වැදගත් නඩු කටයුතු ප්‍රමුඛතාවය මත විභාග කිරීමට අවස්ථාව සැලසේ.














