මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් අතරින් මෙතෙක් ජාතික හැඳුනුම්පත හෝ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබා ගැනීමට නොහැකි වූ පිරිස් වෙනුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.drp.gov.lk වෙත පිවිස බාගත කර ගැනීමට දැන් අවස්ථාව සලසා ඇත. එසේම, මෙම සේවාව ලබා දීම සඳහාම පමණක් හෙට (14) සෙනසුරාදා දින පෙරවරු 08:30 සිට පස්වරු 12:30 දක්වා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව සහ නුවරඑළිය යන ප්‍රාදේශීය කාර්යාල විවෘතව තැබීමට තීරණය කර තිබේ.
මෙතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ පාසල් අයදුම්කරුවන් සිටී නම්, විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද, නිසි ලෙස සම්පූර්ණ කළ ඉල්ලුම්පත් සහ අවශ්‍ය ලේඛන රැගෙන හෙට දිනයේ අදාළ කාර්යාල වෙත පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි. විභාගයට පෙනී සිටීමේදී හැඳුනුම්පත අත්‍යවශ්‍ය ලේඛනයක් බැවින් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.














