ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව ඊයේ (24) මාතරදී සාර්ථකව නිමාවට පත්විය. ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අපනයනකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් 250 කට අධික පිරිසක් මීට සහභාගී වූහ. මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම සහ 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමයි. දැනට දකුණු පළාතේ වාර්ෂික අපනයන දායකත්වය ඩොලර් මිලියන 242 ක් වන අතර එය තවදුරටත් වර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.
මෙහිදී විශේෂයෙන්ම කඹුරුපිටිය ප්‍රදේශයේ කුළුබඩු ආශ්‍රිත කාර්මික උද්‍යානයක් ඇතුළුව නව අපනයන කලාප පිහිටුවීම පිළිබඳව අවධානය යොමු විය. අපනයනකරුවන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට කොළඹට පැමිණීමට සිදු වීම වෙනුවට, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රාදේශීය මට්ටමින් හමුවී සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට මෙහිදී අවස්ථාව සැලසුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ප්‍රාදේශීය අපනයන විෂමතා අවම කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
















