මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (14) සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ අද (15) පෙරවරුවේ සිට දැඩි මීදුම් සහිත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ යන ප්‍රධාන මාර්ගවල මෙන්ම ඒ අවට අතුරු මාර්ගවල ද දෘශ්‍යතාව (Visibility) ඉතා අවම මට්ටමකට පහත වැටී ඇති බැවින් රිය ධාවනය අනතුරුදායක විය හැකිය.
මේ හේතුවෙන් එම මාර්ග භාවිතා කරන රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතු බව හැටන් පොලිසියේ රථවාහන අංශය අවධාරණය කරයි. මාර්ගය පැහැදිලිව නොපෙනෙන අවස්ථාවලදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන, ඉතා සෙමින් සහ අවධානයෙන් යුතුව රිය ධාවනය කරන ලෙස ඔවුන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම වර්ෂාව පවතින විට මාර්ග ලිස්සන සුළු විය හැකි බැවින් වේගය පාලනය කරගැනීමත්, ඉදිරියෙන් ධාවනය වන වාහනයට ප්‍රමාණවත් පරතරයක් තබා ගැනීමත් අනතුරු වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ.














