කොට්ටාව බස් නැවතුම්පළ කේන්ද්‍ර කරගනිමින් පෙරේදා (25) දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් මගී ප්‍රවාහන සේවයේ නිරත වූ බස් රථ සේවකයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි රියදුරන් තිදෙනෙකු සහ කොන්දොස්තරවරුන් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත් වූ බවයි.
මෙම වැටලීමේදී ධාවනයේ යෙදුණු බස් රථවල සේවකයන් 228 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇත. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම රසායනාගාර පහසුකම් භාවිත කරමින් ක්ෂණික මුත්‍රා පරීක්ෂණ (Multi-Drug Screening) මගින් මොවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු කරගෙන තිබේ. මෙම පරීක්ෂණ මගින් ශරීරයේ අඩංගු මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීම සඳහා වන තාක්ෂණික ක්‍රමවේදය පහත දැක්වේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව සිදු කළ මෙම මෙහෙයුම මගී ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද්දකි. අත්අඩංගුවට ගත් සැකකාර සේවකයන් කොට්ටාව පොලිසිය වෙත භාර දී ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙන්ම ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමට ද නිර්දේශ කිරීමට නියමිතය. පොලිසිය අවධාරණය කරන්නේ මගීන්ගේ ජීවිත අනතුරේ දමමින් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයන් සොයා දිවයින පුරා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි.












