ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මඟින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව එළඹෙන පෙබරවාරි 24 වන අඟහරුවාදා මාතරදී පැවැත්වීමට නියමිතය. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රායෝගික අභියෝග හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවට ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අපනයනකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වේ. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ අපනයනකරුවන්ට තම ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමයි.
රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ අපනයන සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව වඩාත් ඵලදායී කිරීම සඳහා, අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මේ වන විටත් අපනයනකරුවන්ගේ විශේෂිත ගැටලු සහ යෝජනා රැස් කරමින් සිටී. මෙය ප්‍රාදේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යාමට උත්සාහ කරන ව්‍යවසායකයන්ට ලැබෙන මහඟු පිටුවහලකි.














