පසුගිය බ්‍රහස්පතින්දා (02) කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් (Eden Gardens) ක්‍රීඩාංගණයේදී පැවති 2026 අයිපීඑල් තරගාවලියේ තීරණාත්මක තරගයකින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 65 කින් පරාජය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායම සමත් විය. ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් (පන්දු 21 කදී ලකුණු 46) සහ අභිෂේක් ෂර්මා (පන්දු 21 කදී ලකුණු 48) ලබා දුන් වේගවත් ආරම්භය හමුවේ හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 226 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.
හයිද්‍රාබාද් ඉනිම වෙනුවෙන් හෙයින් රිච් ක්ලාසන් ලකුණු 52 ක් සහ නිතිෂ් කුමාර් රෙඩ්ඩි ලකුණු 39 ක් රැස් කරමින් සිය කණ්ඩායම ශක්තිමත් කළහ. පන්දු යැවීමේදී කොල්කටා කණ්ඩායමේ බ්ලෙසින් මුසාරබානි ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දුවාර 16 ක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 161 ක් පමණි.
කොල්කටා ඉනිම වෙනුවෙන් ඇන්ක්‍රිෂ් රඝුවංශි ලකුණු 52 ක් සහ ෆින් ඇලන් පන්දු 7 කදී වේගවත් ලකුණු 28 ක් රැස් කළද, හයිද්‍රාබාද් පන්දු යවන්නන් හමුවේ ඔවුන්ගේ සෙසු පිතිකරුවන් අසාර්ථක විය. පන්දු යැවීමේදී ජයිදේව් උනද්කාට් කඩුලු 3 ක් දවා ගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩක එෂාන් මාලිංග ද සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් කොල්කටා පිතිකරු රමන්දීප් සිංගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේ සිය ප්‍රථම ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට සමත් වී තිබේ.














