දිවයිනේ ප්‍රදේශ රැසක තවමත් ඉන්ධන පෝලිම් දක්නට ලැබුණද, එළඹෙන අප්‍රේල් මාසය සඳහා ඇණවුම් කරන ලද සියලුම ඉන්ධන නැව්ගත කිරීම් මේ වන විට තහවුරු වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. කෙසේ වෙතත්, දැනට පවතින ප්‍රධානතම ගැටලුව ඉන්ධන මිලදී ගැනීම නොව, එම ලැබෙන අතිරික්ත ඉන්ධන තොග ගබඩා කර තබා ගැනීමට මෙරට පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම බව සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. කොලොන්නාව, මුතුරාජවෙල සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන පර්යන්තයන්හි පවතින ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 150,000 කට පමණ සීමා වීම හේතුවෙන්, විශාල ඉන්ධන තොග එකවර ගොඩබෑමට හෝ රඳවා තබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.
ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අප්‍රේල් මාසය සඳහා ඇණවුම් කර තිබූ තවත් ඉන්ධන නැව් පහක් පසුගිය බ්‍රහස්පතින්දා තහවුරු වූ බවයි. මැදපෙරදිග පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ඇතැම් ඇණවුම් අවලංගු වේ යැයි පැවති සැකය නිසා රජය විසින් අමතර ආරක්ෂිත තොග (Buffer stocks) ඇණවුම් කර තිබුණි. මෙම සියලුම ඇණවුම් සාර්ථක වීමත් සමඟ, මැයි මාසය අවසන් වන තෙක් දිවයිනට අවශ්‍ය ඉන්ධන තොග පවතින බව ඔහු තහවුරු කළේය.
චීනය, රුසියාව සහ ඉන්දියාව වැනි රටවල් සමඟ නව සැපයුම් ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කළද, අප්‍රේල් මාසය සඳහා ප්‍රමාණවත් තොග ලැබී ඇති බැවින් දැනට එවැනි හදිසි මිලදී ගැනීමක අවශ්‍යතාවයක් නොමැති බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය. අවශ්‍යතාවයක් වුවහොත් මැයි මාසයේදී එම රටවලින් ඉන්ධන ඇණවුම් කිරීමට රජය සූදානම්ව සිටියි. කෙසේ වෙතත්, බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් රැගත් නෞකා දෙකක් නියමිත වේලාවට මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පසුගියදා මාධ්‍ය දැනුවත් කරමින් ප්‍රකාශ කළේය.














