ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මෙතෙක් ජනාධිපතිවරයාගේ ප්‍රයෝජනය සඳහා පමණක් වෙන් කර තිබූ විශේෂිත කාමරය, සාමාන්‍ය රෝගීන්ට ද භාවිත කළ හැකි පරිදි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. රුපියල් 70,000ක දෛනික ගාස්තුවක් යටතේ මෙම කාමරය රෝගීන්ට ලබා දීමේ යෝජනාවක් රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෑතකදී ලබා දුන් උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත. වායුසමනය කළ මෙම කාමරය සියලුම නවීන පහසුකම්වලින් සමන්විත වන අතර, එය රෝහලේ පවතින අනෙකුත් සාමාන්‍ය කාමරවලට වඩා තුන් ගුණයකින් පමණ විශාලත්වයෙන් යුක්ත වීම විශේෂත්වයකි.
මෙම පියවර හරහා රෝහලේ පවතින ඉඩකඩ පහසුකම් උපරිම ලෙස රෝගී සත්කාරක සේවා සඳහා යොදා ගැනීමට හැකි වනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.














