මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන් නවීන තාක්ෂණයට හුරු කිරීම අරමුණු කරගනිමින් 2026 අයවැය මඟින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය. මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මෙම වෙන් කිරීම සැලකිය යුතු ඉහළ යාමක් බවයි. 2025 වසරේදී මේ සඳහා වෙන් කර තිබුණේ රුපියල් මිලියන 7ක් පමණි.
මෙම වෙන් කළ අරමුදල් ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ බෙදා හැරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මාධ්‍යවේදීන්ගේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 54ක් සහ ඔවුන්ගේ තාක්ෂණික ප්‍රවේශයන් මෙන්ම ධාරිතා සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කර තිබේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහා මෙම ප්‍රතිපාදන උපරිම අයුරින් යෙදවීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූ අතර, ඇතැම් මාධ්‍ය ආයතන විසින් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට ගෙවිය යුතු දීමනා ප්‍රමාද කරන බවට වාර්තා වී ඇති බව ඔහු කියා සිටියේය. එවැනි ගෙවීම් කඩිනමින් සිදු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් අදාළ ආයතනවලට දැනුම් දී ඇති අතර, මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක ඔවුන්ට නීතිමය සාධාරණය ඉටු කිරීමට රජය මැදිහත් වන බව ද හෙතෙම අවධාරණය කළේය.














