ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ක්‍රීඩා පහසුකම් ඉහළ නැංවීම සහ සිසුන්ගේ කායික, මානසික සුවතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දැනට ක්‍රියාත්මක විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව සහ ක්‍රීඩා පහසුකම් අවම වීම හේතුවෙන් සිසුන් ක්‍රීඩාවට යොමු වීම සීමා වී ඇති අතර, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා පෙන්විය හැකි ක්‍රීඩකයින් හඳුනාගැනීමට පවතින බාධා ඉවත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
දැනට මෙරට පවතින රජයේ පාසල් 10,096ක් අතුරින් සම්මත ප්‍රමාණයේ ක්‍රීඩාපිටි පවතින්නේ 5%ක වැනි ඉතා අඩු ප්රතිශතයක බැවින්, සෑම අධ්‍යාපන කලාපයකටම අවම වශයෙන් මීටර් 400ක ධාවන පථයක් සහිත එක් සම්මත ක්‍රීඩාපිටියක් බැගින් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම සැලසුම යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි එක් දිස්ත්‍රික්කයකින් ජාතික පාසලක් සහ පළාත් පාසල් තුනක් බැගින් තෝරාගෙන වසර හතරක් තුළ පාසල් 400ක ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමට නියමිතය.
2026 සිට 2029 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2,010.50කි. අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව ඇත. මෙමගින් ග්‍රාමීය පාසල්වල දක්ෂතා ඇති දරුවන්ට සිය ක්‍රීඩා කුසලතා ඔප්නංවා ගැනීමට නව අවස්ථා උදා වනු ඇතැයි අපේක්ෂිතය.














