මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ සහ මෙරටින් පිටත්වීමට තිබූ ගුවන් ගමන් 205ක් අවලංගු කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (03) ප්‍රකාශ කළේය. මෙලෙස අවලංගු කර ඇති ගුවන් ගමන් අතරට පැමිණීම් 107ක් සහ පිටත්වීම් 98ක් ඇතුළත් වේ. පවතින තත්ත්වය හමුවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව අද දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ සමාලෝචන රැස්වීමකදී මෙම කරුණු අනාවරණය විය.
මෙම අර්බුදය හේතුවෙන් මෙරට අතරමංව සිටින විදේශීය සංචාරකයන් සඳහා ඔවුන් රැඳී සිටින කාලසීමාවට ගැළපෙන පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, අවලංගු කරන ලද ගුවන් ටිකට්පත් සඳහා සම්පූර්ණ මුදල් ආපසු ලබාදීමට (Full refund) සහ කිසිදු අමතර ගාස්තුවකින් තොරව වෙනත් ගුවන් ගමන් සඳහා ආසන වෙන්කරවා ගැනීමට සියලුම ගුවන් සමාගම් එකඟ වී තිබේ. මැදපෙරදිග ගුවන් සීමාව මඟහරිමින් විකල්ප ගුවන් මාර්ග ඔස්සේ යුරෝපය වෙත ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද ලන්ඩන් සහ පැරිස් වැනි ගමනාන්ත සඳහා එම මාර්ග භාවිත කරමින් මෙහෙයුම් සිදුකරයි.
විකල්ප මාර්ග භාවිත කිරීමේදී ඉන්ධන පිරිවැය ඉහළ යන බැවින් ගුවන් යානාවල රැගෙන යා හැකි භාණ්ඩ ප්‍රමාණය (Cargo limits) සීමා කිරීමට ද සිදුව ඇත. කෙසේ වෙතත්, මෙරට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන තොග ඉදිරි දින 50ක කාලය සඳහා ප්‍රමාණවත් පරිදි පවතින බව අමාත්‍යවරයා සහතික කළේය. ඕමානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සීමාවන් සීමිත ලෙස විවෘත වුවද, මැදපෙරදිග සිවිල් ගුවන් සේවා මෙහෙයුම් තවමත් යථා තත්ත්වයට පත්ව නොමැත. විදේශ අමාත්‍යාංශය සහ තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වෙමින් අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.















