ජාතික නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන “31,000 ජාතික නිවාස ආධාර වැඩසටහනේ” දකුණු පළාත් සමාරම්භක වැඩසටහන දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. දකුණු පළාත තුළ මෙම වසරේදී පමණක් නිවාස 540ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් ප්‍රතිලාභීන් 59 දෙනෙකු සඳහා ප්‍රදාන පත්‍ර පිරිනැමීම මෙහිදී සංකේතාත්මකව සිදු කෙරිණි.
මෙහිදී “දිරිය පියස” නිවාස වැඩසටහන යටතේ අර්ධ වශයෙන් නිවාස ඉදිකළ ආබාධිත හෝ අධි අවදානම් පවුල් සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් ද, “සුවදිවි අරණ” වැඩසටහන යටතේ රුපියල් දස ලක්ෂයක ආධාර ද පිරිනැමේ. මීට අමතරව “පහන් පියස” සහ “සිහින පියස” වැනි විවිධ නිවාස ආධාර ව්‍යාපෘති යටතේ ද ජනතාවට මූල්‍යාධාර ලබාදීමට පියවර ගෙන ඇත. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














