ශ්‍රී ලංකාවේ පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) සිට දිවයින පුරා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ලබන නොවැම්බර් මස අග භාගය දක්වා ක්‍රියාත්මක වන මෙම සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විද්‍යාත්මක දත්ත රැස් කිරීමට නියමිතය.
මෙම සමීක්ෂණය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදුකෙරෙන අතර එහිදී විශේෂයෙන් තෝරාගත් පාසල් සහ නිවාස කේන්ද්‍ර කරගනිමින් තොරතුරු ලබාගැනීම සිදුවේ. පවතින සෞඛ්‍ය ප්‍රවණතා හඳුනාගෙන අනාගත සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීම සඳහා මෙම දත්ත අතිශය වැදගත් වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ ප්‍රධාන සමීක්ෂක, විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා ඉල්ලා සිටින්නේ මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා පාසල් සහ නිවාස වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම්වලට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. මීට පෙර අවසන් වරට ජාතික මට්ටමේ මෙවැනි සමීක්ෂණයක් පවත්වා වසර කිහිපයක් ගතවී ඇති බැවින්, මෙවර සමීක්ෂණය හරහා කාලීන දත්ත රැස් කිරීම අරමුණයි.














