මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී 66 හැවිරිදි කාන්තාවක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (15) මන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2019 සිට 2023 දක්වා කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එමගින් උපයාගත් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ හා රන් භාණ්ඩ අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඇයට මෙම චෝදනා එල්ල වී ඇත.
අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් උපයාගත් මුදලින් දෙමහල් නිවසක්, කඩකාමර 5ක ගොඩනැගිල්ලක්, මෝටර් රථයක් සහ රන් පවුම් 360කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් මිළදී ගෙන තිබූ බව විමර්ශනවලදී හෙළි විය. අත්අඩංගුවට ගත් කාන්තාව එම ජාවාරම්කරුගේ බිරිඳගේ මව වන අතර, ඇය මෙම රන් භාණ්ඩ නීති විරෝධී ලෙස උපයාගත් ඒවා බව දැන දැනම මූල්‍ය ආයතනවල උකස් කර පසුව රන් භාණ්ඩ අලෙවිසැල් වෙත විකුණා මුදල් විශුද්ධීකරණයට ආධාර අනුබල දී ඇත.
අදාළ නිවාස සහ මෝටර් රථය සම්බන්ධයෙන් මන්නාරම මහාධිකරණය මගින් මේ වන විටත් තහනම් නියෝග ලබාගෙන ඇති අතර, ජාවාරම්කරු ද දැනට අත්අඩංගුවේ පසුවේ. රන් භාණ්ඩ විකිණීමෙන් ලබාගත් මුදල් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














