රුසියාව සහ යුක්රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි පූර්ණ හා කොන්දේසි විරහිත සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්මතයට ඡන්දය දීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් වැළකී සිටියහ. රුසියානු ආක්‍රමණයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් යුක්රේනය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට පක්ෂව රටවල් 107 ක් ඡන්දය දුන් අතර, රටවල් 12 ක් විරුද්ධ විය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 51 ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.මෙම යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව යුක්රේනය තුළ ස්ථාවර සහ සාධාරණ සාමයක් ඇති කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ. එසේම දෙපාර්ශවය අතර පවතින යුද සිරකරුවන් හුවමාරු කර ගැනීම, නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින පුද්ගලයින් නිදහස් කිරීම සහ බලහත්කාරයෙන් පිටුවහල් කරන ලද සිවිල් වැසියන් සහ ළමුන් යළි සිය රටවලට ගෙන්වා ගැනීම වැනි කරුණු ද මෙහිදී අවධාරණය කෙරිණි.රුසියාව විසින් යුක්රේනයේ සිවිල් වැසියන්ට සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඇති වී තිබෙන මානුෂීය අර්බුදය පිළිබඳව ද මෙම යෝජනාව මගින් දැඩි කනස්සල්ල පළ කර ඇත. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය වැනි රටවල් ද ඇතුළත් වීම විශේෂත්වයකි.















