2026 වසර සඳහා ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති ආර්ථික හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් ඇමරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙනු ඇත.
මෙම අතිදැවැන්ත මූල්‍ය සහනය උප-වැඩසටහන් පහක් යටතේ මෙරට ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර වෙත මුදා හැරීමට නියමිත අතර, ඉන් ඩොලර් මිලියන 100ක් වෙළඳ, ආයෝජන සහ කාර්මික සංවර්ධන වැඩසටහන වෙනුවෙන් වෙන් කර ඇත. එමෙන්ම මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (MSMEs) මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලෙස ඩොලර් මිලියන 220ක් වෙන් කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ ඇතුළත් කරගත් ප්‍රකෘතිමත් වීම සඳහා වන සහන වැඩසටහන් මෙන්ම කෘෂිකාර්මික අගය එකතු කිරීමේ දාම සහ කෘෂි ව්‍යාපාර සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ද ඩොලර් මිලියන 100 බැගින් වෙන් කර ඇත.
රජය පෙන්වා දෙන්නේ මෙම මූල්‍ය පහසුකම හරහා මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම, මූල්‍ය අන්තර්ග්‍රහණය වැඩිදියුණු කිරීම සහ පවතින ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණවලට අනුකූලව විවිධ අංශවල සංවර්ධනය වේගවත් කිරීම අපේක්ෂා කරන බවයි. මෙම ආයෝජන මගින් දිගුකාලීන ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය අඩිතාලම වැටෙනු ඇති බව ද විශ්වාස කෙරේ.














