මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුදමය වාතාවරණය සහ ගුවන් කලාප වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ සුදු පන්දු ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇත. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම තරගාවලියට විස්සයි20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් විය.
පවතින ආරක්ෂක අවදානම සහ ඩුබායි ඇතුළු ගුවන් තොටුපළවල මෙහෙයුම් අඩාල වීම සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) මෙම තීරණය ගෙන තිබේ. ලබන 13 වැනිදා සාජාහිදී පළමු විස්සයි20 තරගය ආරම්භ වීමට නියමිතව තිබුණ ද, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම අවශ්‍යතාව ලෙස සලකා තරගාවලිය කල් දැමූ බව නිල ආරංචි මාර්ග තහවුරු කරයි. මීට පෙර පුවත් වාර්තා වූයේ යම් හෙයකින් මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ විකල්පය පිළිබඳව ද සාකච්ඡා වෙමින් පවතින බවයි.













