ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙරටට ඉටුකළ 75 වසරක ගෞරවනීය සේවාව සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද සුවිශේෂී ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය ඊයේ (06) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ විය. සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම උත්සවයේදී එතුමා ගුවන් හමුදා උත්තමාචාර මධ්‍යයේ පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා කෞතුකාගාරයේ සමරු සටහනක් තැබීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
මෙහිදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමට ද එක් විය. ගුවන් යානා සමීපව දැකබලා ගැනීමටත්, ගුවන් තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනික තොරතුරු රැසක් ලබා ගැනීමටත් මහජනතාවට මෙහිදී අවස්ථාව සලසා දී තිබේ. හෙලිකොප්ටර්, ප්‍රවාහන ගුවන් යානා සහ ජෙට් යානා මඟින් ඉදිරිපත් කරන ගුවන් කරණම්, රාත්‍රී ඩ්‍රෝන සංදර්ශන, පැරිෂුට් සහ සරඹ සංදර්ශන මෙන්ම විශේෂ බලකා මුදාගැනීමේ මෙහෙයුම් ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර ඇත.
මෙම අභිමානවත් අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ. ප්‍රදර්ශනය හෙට (මාර්තු 08) දක්වා දිනපතා දහවල් 2 සිට රාත්‍රී 10 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව ගුවන් හමුදාව දන්වා සිටියි.














