ශ්‍රී ලංකා ගුවන් සීමාව තුළ දේශීය හෝ විදේශීය කිසිදු පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා (Drones) පියාසර කිරීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ අනවශ්‍ය නීතිමය ගැටලු මඟහරවා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
ඕනෑම ප්‍රදේශයක ඩ්‍රෝන යානා පියාසර කිරීමට ප්‍රථම අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආරක්ෂක අංශවලින් නිසි අවසරය ලබාගත යුතුය
අධි ආරක්ෂිත කලාප තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන යානා ක්‍රියා කරවූ පුද්ගලයින්ට එරෙහිව මින් පෙර අවස්ථාවලදී ද දැඩි නීත්‍යානුකූල පියවර ගෙන ඇති බව ගුවන් හමුදාව සිහිපත් කරයි
අමෙරිකාවෙන් ලැබුණු නව TH-57C හෙලිකොප්ටර් සහ ගුවන් හමුදා මෙහෙයුම් ධාරිතාව ඉහළ නංවා ඇති පසුබිමක, ගුවන් සීමාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කෙරේ
නූතන තාක්ෂණය භාවිත කරන පුද්ගලයින් නීති විරෝධී ක්‍රියාවලට හසුවීම වැළැක්වීම සහ පොදු ආරක්ෂාව සහතික කිරීම මෙම දැනුවත් කිරීමේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නිරත විදේශිකයින් ද මෙරට නීතියට අනුකූලව ඩ්‍රෝන යානා පාවිච්චි කළ යුතු බව අවධාරණය කෙරේ.














