ලෝක වෙළෙඳපොළේ ගුවන්යානා ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙරට ගුවන් ටිකට්පත් මිල ද ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ සිදුවූ මෙම විචලනය මීට ප්‍රධානතම හේතුව වී ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.
ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කරන පරිදි, පසුගිය පෙබරවාරි 27 වැනිදා ඇමෙරිකානු ඩොලර් 93.57 ක්ව පැවති ගුවන්යානා ඉන්ධන බැරලයක මිල මේ වන විට ඩොලර් 209 දක්වා අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇත. මෙම දැවැන්ත පිරිවැය පියවා ගැනීම සඳහා ගුවන් ගාස්තු සංශෝධනය කිරීම අනිවාර්ය වී ඇති බව බලධාරීහු පවසති.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඉදිරියේදී විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම සංචාරක කර්මාන්තයට ද යම් බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි සිදුවන වෙනස්කම් අනුව ඉදිරියේදී යළිත් මිල ගණන් පාලනය කිරීමට උත්සාහ කරන බව ද රජය ප්‍රකාශ කර සිටියි.













