මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට වාහන සඳහා ඉන්ධන කෝටා (QR) ක්‍රමයක් හඳුන්වා දී තිබුණද, ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට කිසිදු ඉන්ධන පීඩාවකින් තොරව සිය ගමන් බිමන් යාමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව බලධාරීන් නිවේදනය කරයි. සංචාරක කර්මාන්තයට සහාය වීම සඳහා හෝටල් සහ සංචාරක සේවා සපයන්නන් වෙනුවෙන් විශේෂ ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක් දැනටමත් සකස් කර ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.
සංචාරක මෙහෙයුම්කරුවන්ට සහ හෝටල්වලට අවශ්‍ය ඉන්ධන තොග බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කර ඇති බැවින්, සංචාරකයින්ට දිවයින පුරා සංචාරය කිරීමේදී කිසිදු අපහසුතාවක් ඇති නොවන බවට රජය සහතික වෙයි. මෙරට ආර්ථිකයට ප්‍රධාන ශක්තියක් වන සංචාරක ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත්, සංචාරකයන්ට අවශ්‍ය ප්‍රවාහන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.















