අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට සිව්වන ජාතික රෝහල බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. පසුගිය දහවන දා (10) අනුරාධපුර ශික්ෂණ රෝහල් ශ්‍රවණාගාරයේ පැවති රෝහල් කළමනාකරණ කමිටු රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. රෝහලේ භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ මෙලෙස රෝහලේ තත්ත්වය උසස් කිරීමට නියමිතය.
මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් මිලියන 20,000 ක පමණ ආයෝජනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර, ඉදිරි වසර කිහිපය තුළ අනුරාධපුර ශික්ෂණ රෝහල දිවයිනේ ප්‍රධානතම වැඩබිමක් බවට පත්වනු ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචි 900,000 කට අධික ජනතාවට මෙන්ම අවට දිස්ත්‍රික්ක වන පොළොන්නරුව, වව්නියාව, ත්‍රිකුණාමලය සහ මන්නාරම ඇතුළු ප්‍රදේශවල මිලියන 03 කට අධික ජනතාවකට මෙමගින් ඉහළ පෙළේ සෞඛ්‍ය පහසුකම් සැලසෙනු ඇත. රෝහලේ මානව සම්පත් ගැටලු විසඳීම, අතරමඟ නැවතී ඇති ගොඩනැගිලි ඉදිකිරීම් කඩිනම් කිරීම සහ නවීන වෛද්‍ය උපකරණ ලබා දීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණි.














