ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන සුවිශේෂී යෝජනාවකට අද (04) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. මෙරට තුළ මාර්ග අනතුරු, දරුණු හෘදයාබාධ සහ ආඝාත තත්ත්වයන් (Stroke) හේතුවෙන් රෝහල්ගත වන පිරිස සීඝ්‍රයෙන් වර්ධනය වීම හමුවේ, එම රෝගීන්ට කඩිනම් සහ ප්‍රමිතිගත ප්‍රතිකාර ලබා දීම සඳහා ඒකාබද්ධ ව්‍යුහයක අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලය (Directorate of Accident and Emergency Care System) පිහිටුවීමට නියමිතයි.
මෙම නව අධ්‍යක්ෂ කාර්යාලය පිහිටුවීම හරහා දැනට විසිරී පවතින හදිසි සෞඛ්‍ය සේවාවන් එක් ව්‍යුහයක් යටතේ සම්බන්ධීකරණය කිරීමටත්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර මාර්ගෝපදේශ සහ රෝගීන් යොමු කිරීමේ ක්‍රමවේද (Referral Pathways) විධිමත් කිරීමටත් හැකියාව ලැබේ. විශේෂයෙන්ම හදිසි අනතුරකදී හෝ හෘදයාබාධයකදී රෝගියෙකු රෝහලට රැගෙන ඒමට ගතවන කාලය අවම කිරීම සහ රෝහල තුළදී ලබාදෙන ප්‍රතිකාරවල ගුණාත්මකභාවය සහතික කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව මඟින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ධාරිතාව වර්ධනය කිරීමට ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.















