මෙවර අලුත් අවුරුදු උත්සව සමයට සමගාමීව මහජනතාවගේ ආරක්ෂාව සහ ගමනාගමන පහසුව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. උත්සව සමයේදී ජනතාව විශාල වශයෙන් ගම්බිම් බලා යාම සහ භාණ්ඩ මිලදී ගැනීමට නගර කරා පැමිණීම හේතුවෙන් සිදුවන තදබදය පාලනය කිරීමට කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල විශේෂ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් වේ. විශේෂයෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල් සහ ජනතාව බහුලව ගැවසෙන වෙළඳ මධ්‍යස්ථාන ආශ්‍රිතව ආරක්ෂක නිලධාරීන් සහ රථ වාහන පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යෙදවීමට පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ කොට්ඨාස භාර නිලධාරීන් වෙත දැනටමත් සැලසුම් ලබා දී තිබේ.
අප්‍රේල් මස මුල සිට ආරම්භ වන මෙම විශේෂ ආරක්ෂක මෙහෙයුම උත්සව සමය අවසන් වී ජනතාව නැවත නගර කරා පැමිණෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය. රථ වාහන පාලනයට අමතරව සාප්පු සවාරි යන ජනතාවගේ ආරක්ෂාව සහ පොදු ප්‍රවාහන සේවාවල නිරත මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් ද යෙදවීමට අපේක්ෂිතය. උත්සව සමයේ සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා මත්පැන් පානය කර රිය පදවන පුද්ගලයන් සහ අධික වේගයෙන් රිය පදවන්නන් හඳුනා ගැනීමට විශේෂ වැටලීම් ද මෙම වැඩපිළිවෙළට සමාන්තරව සිදු කෙරෙනු ඇත. ජනතාවට බාධාවකින් තොරව සිය උත්සව කටයුතු කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















