“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුබසාධනය උදෙසා සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සමගාමීව රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් සහන වවුචර්පත් බෙදා දීම අද (අප්‍රේල් 10) යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදු විය. මෙමඟින් ආපදාවට පත් සෙබළුන්ගේ චිත්ත ධෛර්යය සහ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට අපේක්ෂිතය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී, කුණාටුවෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින් 1,933 දෙනෙකු වෙත වවුචර්පත් ප්‍රදානය කෙරිණි. එහිදී එක් සාමාජිකයෙකු වෙනුවෙන් රුපියල් 15,000ක වටිනාකමකින් යුතු සහන වවුචරයක් බැගින් ලබා දී තිබේ.
මෙම විශේෂ සුබසාධන වැඩසටහන සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක ගිණුම මඟින් සපයා ඇති බව යුද්ධ හමුදා මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.














