ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය විදහා දක්වන නිල හමුදා ගීතය නිර්මාණය කිරීම සඳහා දායක වූ විශිෂ්ට කලාකරුවන් සහ නිලධාරීන් ඇගයීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (06) යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා. 1999 වසරේ ඔක්තෝබර් 10 වන දින යුද්ධ හමුදාවේ 50 වන සංවත්සරයට සමගාමීව එළිදැක්වූ මෙම ගීතය අදටත් මෙරට හමුදා ගීත කලාවේ සුවිශේෂී සලකුණක් ලෙස සැලකෙනවා.
මෙම ඇගයීම් උළෙලේදී එම අමරණීය ගීතයේ පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්, තනු නිර්මාණය කළ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතා සහ මෙම නිර්මාණයේ මූලික සංකල්පය මෙන්ම සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවූ විශ්‍රාමික මේජර් ජෙනරාල් එස්.ඩී. තෙන්නකෝන් මහතා යුද්ධ හමුදාවේ විශේෂ උපහාරයට පාත්‍ර වුණා.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් සහභාගී වී සිටියා. දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ රණවිරුවන්ගේ චිත්තවේගයන් සහ දේශාභිමානය අවදි කළ මෙම නිර්මාණයට නිසි ගෞරවය ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වුණා.














