නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 55.5ක් වටිනා දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් එම කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරුගේ බිරිඳගේ නමින් මිලදී ගෙන තිබූ රුපියල් මිලියන 15.5ක් වටිනා වාහනයක් තහනම් කිරීමට නියෝග කර ඇති අතර පසුව එම නියෝගය කොළඹ මහාධිකරණය විසින් තවදුරටත් දීර්ඝ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ජාඇළ පොලිස් වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේ රුපියල් මිලියන 40ක් පමණ වටිනා තෙමහල් නිවසක් සහ ඉඩමක් ද එම සැකකාරියගේ නමින්ම මිලදී ගෙන ඇති බවයි. ඒ අනුව 2026 මාර්තු 13 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින හතක කාලයක් සඳහා එම දේපළ ද තහනම් කිරීමට නියෝග නිකුත් කර තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














