මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන් එමිරේට්ස් (Emirates) සහ එතිහාඩ් (Etihad) වැනි ප්‍රධාන ගුවන් සේවාවල යානා විශාල ප්‍රමාණයක් ගොඩබස්වා ගැනීමට නොහැකිව පවතින පසුබිමක, කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල් සම්බන්ධක මධ්‍යස්ථාන (Transit Hubs) ලෙස භාවිත කිරීමට අවශ්‍ය උපදෙස් ජනාධිපතිතුමා විසින් ඊයේ ලබා දී තිබේ. ජාත්‍යන්තර ගුවන් ගමන් අවුල් සහගත වී ඇති මෙම මොහොතේ ශ්‍රී ලංකාව ලබා දෙන මෙම සහාය ගෝලීය ගුවන් සේවාවලට විශාල සහනයක් වනු ඇත. මත්තල ගුවන් තොටුපළ මෙවැනි හදිසි තත්ත්වයකදී ගුවන් යානා නවතා තැබීමට සහ මගී මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක කර ගැනීමට මෙහිදී තීරණය වී ඇත.
මේ අතර, මැදපෙරදිග කලාපයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය සියලු දත්ත එක්රැස් කරමින් පවතින බව ද වාර්තා වේ. මේ දක්වා එවැනි ඉල්ලීම් ඉදිරිපත් වී නොමැති වුවද, ඕනෑම හදිසි අවස්ථාවකදී අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා විදේශ තානාපති කාර්යාල වෙත විශේෂ අරමුදල් පවා වෙන් කර ඇත. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඔවුන් සමඟ නිරන්තර සබඳතා පවත්වා ගැනීමටත් තානාපති කාර්යාල උපදෙස් ලබා දී තිබේ.
කලාපීය නොසන්සුන්තාවය සැලකිල්ලට ගනිමින් මෙරට ආරක්ෂාව තර කිරීමට ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත. විශේෂයෙන්ම සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශ, සංචාරක හෝටල් සහ විදේශ තානාපති කාර්යාලවල ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කර තිබේ. මෙය ශ්‍රී ලංකාව තුළ වෙසෙන විදේශිකයන්ගේ සහ සංචාරකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා ගත් කාලෝචිත පියවරක් ලෙස සැලකේ.
ඊයේ ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඉරාන නෞකාව අනතුරට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර එකඟතාවන්ට අනුව ආසන්නම රට ලෙස ශ්‍රී ලංකාව මානුෂීය මෙහෙයුමක නිරත වූ බවයි. නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී මේ වන විට මියගිය පුද්ගලයන් 80කට අධික සංඛ්‍යාවකගේ සිරුරු සොයාගෙන ඇත. ඉන් සිරුරු 32ක් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එම සිරුරු අදාළ රටවල් වෙත භාරදීම සඳහා තානාපති කාර්යාල හරහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ද රජය වැඩිදුරටත් තහවුරු කළේය.














