මෙරට වත්මන් ඉන්ධන අවශ්‍යතාවයට වඩා 10%කට අධික ප්‍රමාණයක් මේ වන විටත් ඇණවුම් කර ඇති බැවින්, අනියත බියක් ඇති කරගෙන ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියි. සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද (25) “දෙරණ බිග්ෆොකස්” වැඩසටහනට එක්වෙමින් අවධාරණය කළේ ලබන මැයි මාසයේ මැද භාගය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන තොග සුරක්ෂිතව පවතින බවයි.
පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කිරීම (Panic Buying) හේතුවෙන් වෙළෙඳපොළ තුළ කෘත්‍රිම හිඟයක් ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් දිනකට බවුසර් 3ක් ලබාගන්නා පිරිස් පවතින තත්ත්වය හමුවේ බවුසර් 18ක් වැනි විශාල ප්‍රමාණයක් ඉල්ලා සිටින බවත්, එවැනි අසාමාන්‍ය ගබඩා කිරීම් සිදු නොකරන්නේ නම් දෛනික පරිභෝජනයට කිසිදු බාධාවක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද, QR කේත ක්‍රමය (Fuel QR System) ක්‍රියාත්මක වන බැවින් ඉන්ධන කළමනාකරණය විධිමත්ව සිදුවන බව කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. එක්වරම විශාල පිරිසක් ඉන්ධන රැස් කිරීමට උත්සාහ කළහොත් එදිනෙදා ඉන්ධන ලබාගන්නා සාමාන්‍ය ජනතාවට දිනක් හෝ දෙකක් පෝලිම්වල සිටීමට සිදුවිය හැකි බවත්, එබැවින් සාමාන්‍ය පරිභෝජන රටාව පවත්වාගෙන යන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.














