හරිත හා තිරසාර අනාගතයක් උදෙසා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා අවධාරණය කරයි. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා සමඟ ඊයේ (24) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී COP31 දේශගුණික සාකච්ඡා, දේශගුණික විපර්යාසවලට අනුහුරු වීම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම මෙන්ම දේශගුණික මූල්‍යකරණය සහ අලාභ හා හානි පියවීමේ යාන්ත්‍රණයන් පිළිබඳව දෙරටේ අවධානය යොමු විය. විශේෂයෙන්ම ඉන්දු-පැසිෆික් කලාපීය සහයෝගීතාව යටතේ නිල් කාබන් පරිසර පද්ධති, සාගර දූෂණය පාලනය සහ සාගර විද්‍යා පර්යේෂණ වැනි නැගී එන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ආපදා අවදානම් කළමනාකරණය සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා ඕස්ට්‍රේලියාව ලබාදෙන තාක්ෂණික සහාය අගය කළ අමාත්‍යවරයා, වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා එම සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. තවද, දේශගුණික විපර්යාස හමුවේ පීඩාවට පත්වන ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ලබාදිය හැකි සහාය පිළිබඳව ද මහ කොමසාරිස්වරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් වූ මෙම හමුවේදී දෙරට අතර පාරිසරික සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් විය.












