ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා පදක්කම් පැළඳවීමේ ප්‍රථම නිල උළෙල හෙට (21) දින පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිතලේ ජාතික වනජීවී පුහුණු හා පර්යේෂණ කේන්ද්‍රයේදී පැවැත්වේ.
මෙහි මුල් අදියර යටතේ වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් 30 දෙනෙකු වෙත ඔවුන්ගේ සේවා කාලය සහ ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යාපන නිපුණතාවයන් සලකා බලමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ප්‍රදානය කිරීමට නියමිතය. වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය අභිමානය ඉහළ නැංවීම සඳහා මෙවැනි පදක්කම් ක්‍රමවේදයක් හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය වේ.
වනජීවී නිලධාරීන්ගේ කැපවීම, ක්ෂේත්‍ර නිපුණතාව, න්‍යායාත්මක පුහුණුව, කාර්යසාධනය, විනය සහ විශේෂ මෙහෙයුම් සඳහා දක්වන දායකත්වය යන කරුණු පදක්කම් පිරිනැමීමේදී ප්‍රධාන වශයෙන් සලකා බලා ඇත. දිවි පරදුවට තබා වනජීවී සම්පත සුරක්ෂිත කරන නිලධාරීන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරියේදී ද මෙම පදක්කම් පැළඳවීමේ ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එය වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මනා පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














