ආයුර්වේද වෛද්‍ය සභාවේ නිසි ලියාපදිංචියක් නොලබා ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව එම සභාව නිවේදනය කර තිබේ. ඇතැම් පුද්ගලයන් සහ ආයතන විසින් ආයුර්වේද වෛද්‍ය සභාවේ නාමය හා සමාන වන අයුරින් ව්‍යාජ නාමයන් භාවිතා කරමින් මහජනතාව නොමඟ යවන බව නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
විශේෂයෙන්ම සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීම, විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සායන පැවැත්වීම මෙන්ම අධ්‍යාපන ආයතන පවත්වාගෙන යමින් කූඨ ලෙස මුදල් ඉපැයීමේ ව්‍යාපාර සිදු කරන බවට තොරතුරු වාර්තා වී තිබේ. සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදුවන මෙවැනි ප්‍රචාරයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආයුර්වේද වෛද්‍ය සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දේශීය වෛද්‍ය ක්‍රමය සුරැකීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙවැනි හොර වෙද්දුන් සහ ව්‍යාජ ආයතන වැටලීමට ඉදිරියේදී කටයුතු කරන බව ද එම සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.














