කොළඹ බැස්ටියන් මාවත දුරගමන් සේවා බස් නැවතුම්පොළේ සේවය කරන බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සෙවීම සඳහා වූ විශේෂ පරීක්ෂණයක් අද (05) පෙරවරුවේ සිදු කෙරිණි. රජයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම පරීක්ෂණ ඒකකයක් භාවිත කරමින් සැකකටයුතු රියදුරන් සහ සහායකයන් මෙහිදී ක්ෂණික මුත්‍රා පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව මෙම වසර තුළ බැස්ටියන් මාවතේ පවත්වන ලද දෙවන පරීක්ෂණය මෙය වේ. මෙම පරීක්ෂණ මගින් පුද්ගලයෙකු පසුගිය දින 14ක කාලය ඇතුළත නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි හඳුනාගත හැකිය. එක් පරීක්ෂණයක් සඳහා රජයට රුපියල් 1,000ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන අතර, පෞද්ගලික අංශයෙන් මෙවැනි පරීක්ෂණයක් සිදු කරන්නේ නම් ඒ සඳහා රුපියල් 5,000ක පමණ මුදලක් වැය වන බව එම ආයතනය පෙන්වා දෙයි. මත්ද්‍රව්‍ය භාවිත කර පියවි සිහියෙන් තොරව රිය පදවන රියදුරන් හේතුවෙන් සිදුවන අනතුරු අවම කිරීම මෙහි මූලික බලාපොරොත්තුවයි.














