බත්තරමුල්ල අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ආසන්නයේදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි. අධි ආරක්ෂිත කලාපයක පවා “චිකාගෝ ක්‍රමයට” මෙවැනි මනුෂ්‍ය ඝාතන සිදුවීම තුළින් රටේ නීතිය හා සාමය බිඳ වැටී ඇති බවත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. නීතිය හා සාමය සුරැකීම පිළිබඳව වේදිකාවල උදම් ඇනූ පාලකයින්ට දැන් සිදුව ඇත්තේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.
රජය ගන්නා ක්‍රියාමාර්ග හුදෙක් මාධ්‍ය සංදර්ශන පමණක් බව පවසන විපක්ෂ නායකවරයා, සෑම ඝාතනයක්ම පාතාලය හෝ මත්ද්‍රව්‍ය මත පටවා රජය සිය වගකීමෙන් මිදීමට උත්සාහ කරන බවට ද චෝදනා කරයි. හදිසි නීතිය පනවා ත්‍රිවිධ හමුදාව පවා කැඳවා ඇති මොහොතක, ආරක්ෂක මූලස්ථානයක් අසල මෙවැනි අපරාධයක් සිදුවීම රටටම අනතුරු ඇඟවීමක් බව ඔහු පවසයි. මෙම කුරිරු ඝාතනය සම්බන්ධයෙන් වහාම විමර්ශන පවත්වා වගකිවයුත්තන් නීතියේ රැහැනට හසු කර ගත යුතු බවත්, බිඳ වැටී ඇති ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වහාම පියවර ගත යුතු බවත් ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත.














