ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තියට ශ්‍රී ලංකාවේ නිල එකඟතාව පළ කිරීම ඊයේ (17) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම සුවිශේෂී අවස්ථාවට බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අත්සන් තබන ලදී.
මෙම ප්‍රඥප්තියට අත්සන් තැබීමත් සමඟ ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ ගෝලීය ප්‍රඥප්තියට එක් වූ පළමු දකුණු ආසියාතික රට බවට පත්වෙයි. දැනට ලෝකයේ රටවල් 34ක් පමණක් මෙයට අනුමැතිය ලබා දී ඇති අතර, මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ජාතික ළමා රැකවරණ ප්‍රතිපත්ති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් ශක්තිමත් කිරීමට මින් මඟ පෑදෙනු ඇත.
නව රජය යටතේ 2026 වසරේ ප්‍රධාන ඉලක්කයක් ලෙස මුල් ළමා විය සංවර්ධනය සහ ළමා ආරක්ෂණය ප්‍රතිපත්තිමය වශයෙන් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබේ. ළමුන් ආයතනගත රැකවරණයෙන් ඉවත් කර පවුල් ඒකකය තුළ සුරක්ෂිත කිරීම සහ හිංසනයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත Marc-André Franche මහතා, යුනිසෙෆ් (Unicef) නියෝජිත Emma Brigham මහත්මිය සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. “දරුවන්ට හොඳම දේ ලබාදීම රජයේ ප්‍රධානතම වගකීම” බව අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.














