කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) කිසිවෙකු විසින් භාර නොගෙන අතහැර දමා ගොස් තිබූ ගමන් මලු 13ක් පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 28කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් සොයා ගැනීමට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සමත්ව තිබේ. රේගු නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන දැඩි සෝදිසි කිරීම් හමුවේ ඒවා රැගෙන යාමට නොහැකි වූ ජාවාරම්කරුවන් විසින් මෙම ගමන් මලු අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරේ. මාසයකට ආසන්න කාලයක් රේගු භාරයේ තිබූ මෙම ගමන් මලු ඊයේ (27) විවෘත කර පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ දුම්වැටි කාටූන් 928ක් හමු වූ බව රේගු බලධාරීන් තහවුරු කරයි.
මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන එන ලද ගුවන් මගීන් කවුරුන්ද යන්න සහ ඔවුන් පැමිණි ගුවන් යානා පිළිබඳව මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. විදේශීය රටවල සිට නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි ගෙන්වීම මඟින් රජයට සිදුවන විශාල බදු ආදායමක් අහිමි වන බැවින්, ඉදිරියේදී ගුවන් තොටුපොළ රේගු පරීක්ෂා කිරීම් තවදුරටත් දැඩි කරන ලෙස උපදෙස් ලැබී ඇත. අදාළ දුම්වැටි තොගය රාජසන්තක කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














