ශ්‍රී ලංකාවේ වනාන්තරවල නිහඬ පාලකයා වන ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) යනු හුදෙක් සතෙකුට වඩා සමස්ත පරිසර පද්ධතියේම සමබරතාවය රඳවා තබා ගන්නා ප්‍රධාන පුරුකකි. අපේ රටේ වනාන්තර, ජල පද්ධති සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට කොටියාගෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය. මෙම යථාර්ථය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් “වනගත හඬට අප සවන් දෙමුද?” (When the Wild Speaks, Will We Listen?) යන තේමාව යටතේ සුවිශේෂී සාකච්ඡාවක් පසුගියදා DFCC බැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
DFCC බැංකුව සහ වනජීවී සංරක්ෂණ භාරය (WWCT) එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේදී අවධාරණය කෙරුණේ කොටියා ආරක්ෂා කිරීම යනු සමස්ත පරිසරයම ආරක්ෂා කිරීමක් බවයි. වර්තමානයේ වනාන්තර විනාශය, මස් පිණිස අටවන මල පුඩුවලට කොටින් හසුවීම සහ මිනිස්-වනජීවී ගැටුම් ඉහළ යාම නිසා මෙම සතුන් දැඩි තර්ජනයකට ලක්ව සිටින අතර, එය වක්‍රව මෙරට කෘෂිකර්මාන්තයට සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාවට ද බලපෑම් එල්ල කරයි.
මෙම සැන්දෑවේ සුවිශේෂී ආරාධිතයා වූයේ වසර 40කට වැඩි කාලයක් තේ කර්මාන්තයේ නියැලෙමින්ම වනජීවී ගවේෂණයට කැප වූ සේනක කොටගම මහතායි. ඔහු විසින් රචිත ‘The World of the Black Leopard’ (කළු කොටියාගේ ලෝකය) කෘතිය හරහා ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ කළු කොටියා පිළිබඳව රසවත් මෙන්ම වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කෙරේ. ඔහු සිය දශක ගණනාවක අත්දැකීම් ඇසුරින් ලබාගත් ඡායාරූප ප්‍රදර්ශනයක් ද මෙහිදී පැවැත්විණි.
වනජීවී සංරක්ෂණවේදීන් වන අංජලී වොට්සන් සහ ආචාර්ය ඇන්ඩෘ කිට්ල් ද මෙම සාකච්ඡාවට එක්වෙමින් පෙන්වා දුන්නේ කොටියා සංරක්ෂණය කිරීමේදී විද්‍යාත්මක පර්යේෂණ මෙන්ම ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සහයෝගය ද අත්‍යවශ්‍ය බවයි. කොටියාගේ පැවැත්ම තහවුරු වන්නේ මිනිසා සහ සතා අතර පවතින සහජීවනය මත බව ඔවුන්ගේ අදහස විය. අපේ රටේ වනාන්තරවල තවමත් නිහඬව සැරිසරන මෙම අසිරිමත් සත්වයාගේ හඬට සවන් දී සොබාදහම රැක ගැනීමට පෙරමුණ ගැනීම කාලීන අවශ්‍යතාවයකි.













