ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක ඉලක්කයක් දක්වා වර්ධනය කර ගැනීමට දෙරටේම එකඟතාව පළ වී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටයේදී මෙම වැදගත් තීරණයට එළැඹි බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙහිදී දෙරට අතර ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව පිළිබඳ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත. බ්‍රසීල සහයෝගීතා ඒජන්සියේ (ABC) සහාය ඇතිව කිරි පශු සම්පත් සහ උක් ව්‍යාපෘතිවලට අදාළ ගිවිසුම් ද නුදුරේදීම අත්සන් කිරීමට අපේක්ෂිතය. මීට අමතරව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි බ්‍රසීල සංචාරය සහ අත්හිටුවා තිබූ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් නැවත පිහිටුවීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබේ.














