ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට යොමු කරමින්, දෙරට අතර වාර්ෂික වෙළෙඳාම 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (21) පැවති දෙවන වටයේ දේශපාලන උපදේශන සාකච්ඡාවලදී මෙම තීරණයට එළැඹුණු අතර, ඒ සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා මහත්මිය සහ බ්‍රසීලයේ ආසියා සහ පැසිෆික් ලේකම්, තානාපති සුසන් ක්ලිබෑන්ක් මහත්මිය නායකත්වය ලබා දුන්හ. වත්මන් ගෝලීය ආර්ථික අභියෝග හමුවේ දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කිරීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
වෙළෙඳාමට අමතරව ආරක්ෂාව, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සහ මිනිස් ජාවාරම මැඩපැවැත්වීම මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්ෂේත්‍රවල සහයෝගීතාව දැක්වීම සඳහා වන නීතිමය රාමු කඩිනමින් අවසන් කිරීමට ද දෙරට එකඟ විය. එසේම සාම්ප්‍රදායික සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මෙන්ම රාජ්‍යතාන්ත්‍රික පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් ද ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතය. මෙම සාකච්ඡා හරහා දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වේ.
තාක්ෂණික සහයෝගීතාව යටතේ මෙරට කිරි පශු සම්පත් ක්ෂේත්‍රය සහ උක් වගාව දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා බ්‍රසීල සහයෝගීතා ඒජන්සියේ සහාය ලබා ගැනීමට ද මෙහිදී අවධානය යොමු විය. එම ව්‍යාපෘතිවලට අදාළ ගිවිසුම් නුදුරු අනාගතයේදීම අත්සන් කිරීමට දෙපාර්ශ්වය සිය සතුට පළ කළහ. බ්‍රසීලය වැනි ලොව ප්‍රබල ආර්ථිකයක් සහිත රටක් සමඟ මෙවැනි පුළුල් එකඟතාවකට පැමිණීම ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ගමන්මගට ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.














