ශ්‍රී ලංකාවේ බීවයිඩී (BYD) සහ එහි ප්‍රමුඛතම අනු සන්නාමයක් වන ඩෙන්සා (DENZA) වාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම, විදුලි පරිහරණය පිළිබඳ මෑතකදී නිකුත් වූ ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව බුද්ධිමත් ආරෝපණ ක්‍රමවේදයන් (Smart Charging) අනුගමනය කරන ලෙස සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
දැනට පවතින බලශක්ති අභියෝග හමුවේ සියලුම බීවයිඩී සහ ඩෙන්සා වාහනවල අන්තර්ගත කර ඇති ස්මාර්ට් ආරෝපණ පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස සමාගම පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා. මේ හරහා පාරිභෝගිකයන්ට මුදල් ඉතිරි කර ගැනීමට මෙන්ම ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීමටද සෘජු දායකත්වයක් ලබා දිය හැකියි.
ජේන් කීල්ස් සීජී ඔටෝ සමාගම මඟින් සියලුම පාරිභෝගිකයන් වෙත නිවසේදීම වාහන ආරෝපණය කිරීම සඳහා කිලෝවොට් 7 සහ කිලෝවොට් 2.5 ධාරිතාවයෙන් යුත් චාජර් පද්ධති ලබා දෙනවා. වාහනවල ඇති ස්මාර්ට් කාලසටහන්ගත කිරීමේ (Scheduled Charging) පද්ධතිය සමඟ මෙම උපාංග භාවිත කිරීමෙන්, රටේ බලශක්ති අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව වාහනය ආරෝපණය කරගත හැකියි.
ප්ලග් එක සම්බන්ධ කළ සැනින් වාහනය ආරෝපණය වීමට ඉඩ නොදී, තමන්ට අවශ්‍ය නිශ්චිත වේලාවකදී පමණක් එය ආරෝපණය වන ලෙස සකස් කිරීමට මෙම බුද්ධිමත් තාක්ෂණයෙන් අවස්ථාව ලැබෙන බව ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළා. ඒ අනුව වාහනයක් මුළු රාත්‍රිය පුරාම ප්ලග් කර තිබුණද, එය විදුලිය ලබා ගන්නේ විදුලි ඉල්ලුම අවම නිශ්චිත කාලසීමාවන්හිදී (Off-Peak Hours) පමණක් බැවින් විදුලි බිල අඩු කර ගැනීමට මෙන්ම ජාතික පද්ධතියට එල්ල වන පීඩනය අවම කිරීමටද මහඟු සහයක් ලැබෙනවා. ඉදිරියේදී විද්‍යුත් වාහන භාවිතය තවදුරටත් ඉහළ යන බැවින් මෙවැනි කුඩා නමුත් වගකීම් සහගත ක්‍රියා සහ සූර්ය බලශක්ති (Solar) පද්ධති භාවිත කිරීම මඟින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් කළ හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව විදුලි ඉල්ලුම උපරිම මට්ටමක පවතින පස්වරු 6:30 සිට රාත්‍රී 10:30 දක්වා කාලය තුළ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමෙන් වළකින ලෙසත්, ඒ වෙනුවට විදුලි ඉල්ලුම අවම වන රාත්‍රී 10:30 සිට අලුයම 5:30 දක්වා කාලය ඒ සඳහා යොදා ගන්නා ලෙසත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මීට අමතරව නිවසේ හෝ සේවා ස්ථානයේ සූර්ය පැනල පද්ධති සවි කර ඇති පාරිභෝගිකයන්ට, දිවා කාලයේ උපරිම සූර්යාලෝකය ලැබෙන පෙ.ව. 8:00 සිට ප.ව. 4:00 දක්වා කාලය තුළ වාහනය ආරෝපණය වන ලෙස සකස් කර ගැනීමටද හැකියාව පවතිනවා.














